Saturday, January 30, 2016

ඔබට ඇති මගෙ ආදරේ - සමවේය මහ සාගරේ


උපන්නෙත් මා තනිවමයි මා මියෙන්නෙත් තනිවම තමයි
නමුඳු ජීවත්වෙන්න මාහට ඔබේ සෙනෙහස අවැසිමයි
කිසිදු අඩුවක් නොකර හද පිරි පෙම පිදුවෙ ඒ හින්දමයි
ලදත් නොලදත් ඔබෙ සෙනෙහෙ මතු මගේ සෙනෙහස ඔබටමයි

ඔබේ සිනහව දකින්නට එය රකින්නට කැප වුණු වගයි
මගෙ සිහින මගෙ පැතුම් සමඟින් අතැර දැමු දේ අපමණයි
ඔබම වෙනුවෙන් මගේ දිවියම මා සිතුවෙ කැප කරන්නයි
කිසිත් ආපිට පැතුව නම් ඒ ඔබේ සෙනෙහස විතරමයි

මිනිස් පුහුදුන් මගෙත් ඔබගෙත් බොහෝ අඩුපාඩු ද තිබෙයි
ඉවසුවෙමි මම නුඹෙ නුගුණ මා තුළද ඇති බව සිහිවුණයි
මා සටන් කළෙ මගෙන් විය හැකි වැරදි අවමව තබන්නයි
නමුඳු එලෙසින් සිතා තිබුණේ ඔබ නොවේ මා විතරමයි

හිමිකරන් නුඹ විඳින මේ හැටි දුකද මට වැඩියෙන් වැඩී
අහිමි කරගෙන විඳින්නට වෙන දුක වෙයිද ඊටත් වැඩී
නුඹව සතුටින් තියන්නට මට ඔයින් කෝකත් නැත වැඩී
නුඹට ඇති මගෙ සෙනෙහෙ නම් වේ දිනෙන් දින වැඩියෙන් වැඩී

ඔබට නොපෙනී ඔබට නොදැනී හෙළූ සුසුමද කඳුළැලියි
නොඅඟවා මම සිටියෙ ඔබ මා හැර යතැයි ඇති බියෙන්මයි
ඔබෙන් තොර හෙට දිනක් ලොවකුත් සිතාගන්නට බැරි වුණයි
ආදරේ මම මටම දැයි මට සිතුණු වාරද අපමණයි

7 comments:

  1. හරිම ලස්සනයි....................

    මේ නිර්මාණය පුරාවට මං දැකපු ලස්සනම සිද්ධියක් කියන්නද????? මේක පුරා අැත්තේ මම, මගේ, මට කියන පදයත් ඒක්ක සමානය යන ඔබ, ඔබේ, ඔබට යන පද ටිකක්..... මේ නිර්මාණය පුරා අැත්තේ මම සහ ඔබ කියන පද දෙකේ වරනැගීම් තමා...... ජීවිතය කියන්නෙත් මේකම තමා...... මම වෙනුවෙන් මම විසින් ඔබ වෙත කරන්නාවූ දේ තමා ජීවිතය........................

    ඔබ ඒක හරි අගේට මෙතැනදී කියනවා ගීතිකා..

    //උපන්නෙත් මා තනිවමයි මා මියෙන්නෙත් තනිවම තමයි
    නමුඳු ජීවත්වෙන්න මාහට ඔබේ සෙනෙහස අවැසිමයි//

    මේකේ අනික් කතාව තමා අාත්මාර්ථය වෙනුවෙන් වූ පරාර්ථය කියන දේ. අැත්තට ම අපිට කොච්චර කරත් බැරි දෙයක් තමයි තනියම ජීවත් වීම. ඒ නිසා අපි අනුන් වෙනුවෙන් ජීවත් වෙනවා. අපිට තනියම ජීවත් වෙන්න හැකි නං අපිට අපි වෙනුවෙන් ජීවත් වෙන්නට හැකි වේවි. නමුත් මිනිසා කියන්නේ සමාජයක් තුළ ජීවත්වීමට නිර්මාණය වුණ සතෙක්. ඒ නිසා කවදාවත් මේක වෙන ඒකක් නැහැ. අැත්තට ම බැලුවොත් තනි තනි වශයෙන් ගත්තා ම අපි මාර අසරණ සත්තු ජාතියක්.................

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත තුෂාර. අපිට දරාගන්න අපහසුම හැඟීම තමයි තනිකම.
      ඒ වගේම... කුසගින්න, ලෙඩ රෝග ඇතුළු ඕනෑම කායික පීඩාවකත්... දුක, සෝකය, තරහ වැනි සියළු මානසික පීඩාවලත් කෙළවර නිරායාසයෙන්ම ඇතිවිය හැකි භයානක හැඟීමක් ඒක... කොටින්ම කිව්වොත් අපි මැරෙන්න බයත් අපි තනිවෙනවා කියන හැඟීම දැනෙන්නට පටන් ගැනීම... එහෙම නේද...
      විචාරයට බොහොමත්ම ස්තූතියි තුෂාර...
      ආයුබොවන් !

      Delete
  2. ගීතීකා දැක්ක කල්.
    තනිකම හුදකලාව ගැන සංවේදි ලස්සන කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න... කොමෙන්ටුව දුටුවෙ දැන්... කාලෙකින් මේ පැත්තෙ ආවෙ...
      විරහවේ රහ තමයි...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. "ආදරේ මම මටම දැයි මට සිතුණු වාරද අපමණයි" ඇත්තටම එහෙම තමයි නේද?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම එහෙමයි...

      Delete